දකුණු අප්‍රිකා කළු ජාතික නායක බන්ටු ස්ටීවන් බිකෝ නැතිනම් ස්ටීව් බිකෝගේ අබිරහස් මරණය

දකුණු අප්‍රිකා කළු ජාතික නායක බන්ටු ස්ටීවන් බිකෝ නැතිනම් ස්ටීව් බිකෝගේ අබිරහස් මරණය සිදුවිය. වර්ණ භේදවාදයට එරෙහිව සටන් මෙහය වූ නෙල්සන් මැන්ඩෙලා, ඔලිවර් ටම්බෝ, ඩෙස්මන්ඩ් ටුටූ වැනි නායකකාරකාදීන්ගේ නම් අතරට ස්ටීව් බිකොගේ නමත් අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුව ඇත. එසේ වුවත් දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන්ට සිදුවන අසාධාරණයන්ට එරෙහිව සැබෑ හඬක් නැඟූ වීරයන් ගැන කතා කළ බොහෝ අවස්ථාවලදී ලෝකයා කළේ ස්ටීව් සම්බන්ධයෙන් එක්කෝ මුනිවත රැකීමය; නැත්නම් ඔහු කළ කාර්යය මතුපිටින් බලා තක්සේරුවක යෙදීමය. එය හුදෙක් අද ඊයෙක සිදු වූවක් නොව, පසුගිය දශක හතරක කාලය මුළුල්ලේම සිදු වුණු දෙයකි. ඔහු කළ සේවය සහ ඔහු ගෙන ගිය සටන දකුණු අප්‍රිකාවේ වත්මන් පරම්පරාවලට හරියාකාරව නොදැනීම පුදුම සහගතය. සමහරවිට ස්ටීව් බිකෝ ගැන කතා කිරීම එවැනි තැනකට තල්ලු වන්නට ඇත්තේ සුළුතරයක් වූ දකුණු අප්‍රිකා සුදු ජාතිකයන් ගෙනගිය දැඩි මර්දනකාරී පිළිවෙතෙහි ප්‍රතිඵලයක් ලෙස විය හැකිය.
දකුණු අප්‍රිකාවේ එක්හෝසා පවුලක 1946 වසරේ දෙසැම්බර් 18වැනිදා ස්ටීව් බිකෝ උපත ලැබුවේ දිළින්දකු හැටියටය. ඒ දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක තෙවැනියා හැටියට ය. ඔහුගේ පියා පොලිස් නිලධාරියකු ලෙස මුල් කාලයේදී කටයුතු කළ නිසා එනිසා දකුණු අප්‍රිකාවේ විවිධ ප්‍රදේශවල සේවය කරන්නට පියාට තිබුණි. සුදු ජාතිකයන්ට බැලමෙහෙවර කිරීමෙන් ස්ටීව් බිකෝගේ මව සොච්චම් මුදලක් උපයා ගත්තාය. කාර්යය බහුල පොලිස් රාජකාරියට සමුදෙමින් බිකෝගේ පියා ලිපිකරුවකු හැටියට කටයුතු කරමින් නීති උපාධියකට ඉගෙන ගන්නට ද සැරසෙන්නේ මේ අවධියේදීය. ස්ටීව් බිකෝගේ මව රෝහලක ඉවුම් පිහුම් කටයුතු කිරීමට භාර ගත්තේ පවුලේ කටයුතුවලට අවශ්‍ය වියහියදම් පියවා ගැනීම දුෂ්කර වූ හෙයිනි. එකල ඔවුන් ජීවත් වූයේ දකුණු අප්‍රිකාවේ ජින්ස්බර්ග් නගරාසන්නයෙහි බැව් දැක්වේ. මේ කාලයේදී ජීන්ස්බර්ග් නගරයේ ජීවත් වුණේ පවුල් 800ක් තරම් ප්‍රමාණයකි. දකුණු අප්‍රිකා කළු ජාතික පවුල් විශාල සංඛ්‍යාවක් මේ අතර තිබිණ. කෙසේ වුවත් නගරයේ ජනගහනයට සරිලන තරමට පානීය ජල පහසුකම් සහ වැසිකිළි පහසුකම් තිබුණේ නැත. එනිසා එක ජල කරාමයක් සහ එක වැසිළිකියක් පවුල් හතරක සාමාජිකයන් විසින් භාවිතයට ගත යුතු විය. මේ දුෂ්කරතා මධ්‍යයයේ ජීවිතය යම්තමින් ගැටගහගන්නා අතර බිකෝ පවුල එක් තීරණාත්මක අත්දැකීමකට හදිසියේම මෙන් මුහුණ දීමට සිදු විය. එය ස්ටීව් බිකෝගේ පියා හිටි අඩියේම මරණයට පත්වීමයි. බිකෝගේ වයස එවක වයස අවුරු හතරකි. තම නිජබිම වූ දකුණු අප්‍රිකාව තුළදීම දෙවැනි තැනකට ඇද වැටීමෙන් කළු ජාතික ජනයා අත්විඳින හිරිහැර, දුක් වේදනා ස්ටීව් බිකෝට වඩාත් හොඳින් දැකගන්නට සහ අත්විඳින්නට ලැබෙන්නේ ඒ ළමා අවධියේ පටන්මයැයි කිවහොත් එහි වරදක් නැත.
අධ්‍යාපනයෙහි සැබෑ හපනකු වූ ස්ටීව් බීකෝ තමන් අවට ඇති ලෝකයටත් බෙහෙවින්ම සංවේදී දරුවකු හැටියට වැඩුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව නැඟී සිටින මිනිසකුගේ මූලාරම්භය ඔහුගේ නව යෞවන අවධිය තුළින්ම දිස්විණ. වයස අවුරුදු 18ක් පමණ වන විට - එනම් එක්දහස් නවසිය හැට ගණන් මැද භාගය වනවිට ඔහු පෑන් අප්‍රිකා කොන්ග්‍රසයෙහි සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයකු බවට පත්ව සිටි බවට චෝදනා එල්ල වේ. පෑන් අප්‍රිකා කොන්ග්‍රසය සුදු ජාතික පාලකයන්ගේ තහනමට ලක් වුනු සංවිධානයක් විය. චෝදනා හේතුවෙන් ස්ටීව් බිකෝට පොලිස් අත්අඩංගුවට පත් වන්නට සිදු විය. එමෙන්ම ඔහු, ඔහු ඉගෙන ගත් පාසලෙන්ද නෙරපා දැමිණ. ඉන් මතු පසු ඔහු අධ්‍යාපනය ලබන්නට පැමිණිය නටාල්හි ශාන්ත ෆ්‍රැන්සිස් කොලීජිය තුළ පැවැතියේ මධ්‍යස්ථ මතධාරී දේශපාලන සංස්කෘතියකි. කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මහා සටන්කරුවකුගේ ගමන් මඟ හෙළි පෙහෙළි කරන දේශපාලන සවිඥ්ඥානකත්වය ස්ටීව් බිකෝ තුළ අවදි වන්නට පටන් ගත්තේ මේ කොලීජියේ පැවැති වටපිටාව හේතුවෙනි. වර්ණ භේදවාදයට එරෙහිව සටන් කරන මිනිසුන් ස්ටීව්ගේ වීරයන් බවට පත්විය.
වෛද්‍යය විද්‍යාව හැදෑරීමට නටාල් විශ්වවිද්‍යාලයට ඇතුළු ස්ටීව් බිකෝට දකුණු අප්‍රිකා ජාතික ශිෂ්‍ය සංගමයට බැඳෙන්නට අවස්ථාව හිමි විය. එතැනින් දකුණු අප්‍රිකා ශිෂ්‍යයන්ගේ සංවිධානයට පය තබන ස්ටීව් එහිදී තම දේශපාලන අදහස් වඩවා ගත්තේය. කළු ජාතිකයන්ගේ සවිඥ්ඥානකත්වය අවධි කළ යුතුය යන එළඹුමට පිවිසෙන්නට ස්ටීව්ට පදනම වැටෙන්නේ දකුණු අප්‍රිකා ශිෂ්‍යයන්ගේ සංවිධානයෙනි.
සෑම කළු ජාතිකයකු තුළම තම රට ගැන හැඟීමක් ඇති විය යුතු බව හෙතෙම තරයේ විශ්වාස කළේය. කළු ජාතිකයන් අතර ආකල්පමය වෙනසක් ඇති කිරීමේ භාරධූර කර්තව්‍යය හෙතම සිය තරුණ අවධියේදීම තමන් අතට ගත්තේ ඒ නිසාය. මනසෙහි ඇතිවන ආකල්ප ජීවත් වීමේ මඟ මිනිසුන්ට විවර කරන බැව් ස්ටීව් සමාජ ගත කරන්නට පටන් ගත්තේය. තමන් ඉපදුණු රට තුළ තමන් විදේශිකයකු බවට පත්ව ඇතැයි යන ආකල්පය බැහැර කළ යුතු බැව් ඔහු දිගින් දිගටම අවධාරණය කළේය. “සුදු වර්ගවාදය කළු සවිඥ්ඥානකත්වය” ගැන ඔහු ප්‍රසිද්ධියේම කතා කරන්නට පටන් ගත්තේ මේ පදනමෙනි. කළු සවිඥ්ඥානකත්ව ව්‍යාපාරයට නව ප්‍රාණයක් ලබා දෙමින් ඔහු දකුණු අප්‍රිකාවේ බිම් මට්ටම වෙතම සිය පණිවුඩය රැගෙන ගියේය.
ස්ටීව් බිකෝ සිය පෙරළිකාර දේශපාලන ගමනට අනුප්‍රාණය ලබා දෙන විට ඔහුගේ වෛද්‍ය උපාධි සිහිනය ඔහු කෙරෙන් ඈත් වී තිබිණ. විශ්වවිද්‍යාලයට බැඳී වසර හයක් ගත වනවිටත් ඔහු සිය තෙවන වසර විභාග කටයුතු සාර්ථක කරගන්නට ලතවෙමින් සිටියේය. මේ නිසා සය අවුරුදු උපාධිය තවදුරටත් කරගෙන යන්නට ඉඩ ලබා නොදෙන බැව් විශ්වවිද්‍යාල බලධාරීහු ඔහුට දැන්වූහ. ඒ සමඟම ඔහු සිය දේශපාලන කටයුතු තව තවත් ප්‍රබල තැනකට රැගෙන ආවේය. එසේ වුවත් ඔහුගේ දේශපාලනය 1973 වසරේදී සුදු ජාතික පාලකයෝ වාරණය කළහ. එක් පුද්ගලයකුට අධික පුද්ගලයන් සංඛ්‍යාවකට කතා කිරීම පවා ඔහුට තහනම් වූයේය. කිංග් විලියම්ස් නගරයෙන් බැහැරට ගමන් කිරීමට ඔහුට අවසරයක් නැති බැව් අධිකරණයෙන් ප්‍රකාශයට පත් කර තිබිණ. මේ නිසා දකුණු අප්‍රිකාවේ ග්‍රාමීය ජනයාගේ ජන ජීවිතය නංවාලීමට අවශ්‍ය ඇප උපකාර කරමින් කාලය ගත කරන්නට ස්ටීව් බිකෝට සිදු විණ. 1977 වසර වනතුරු මේ අන්දමට වාරණයට යටත්ව සිටි ස්ටීව් බිකෝ හදිසියේම කේප් ටවුන් වෙත පැමිණියේ තමන්ට පනවා ඇති වාරණය නොසලකා හරිමිනි. ඔහුගේ ගමනේ අරමුණ දේශපාලන අවශ්‍යතාවක් සපුරා ගැනීම විය. එසේ වුවත් එයට පළමුව ස්ටීව් බිකෝව පොලිස් අත්අඩංගුවට පත් විණ.
අත් අඩංගුවට පත් ස්ටීව් බිකෝ සැප්තැම්බර් 6 වැනිදා වනවිට නිරුවත් කර මංචු ලා සිර මැදිරියක් තුළ තබා තිබුණු බව වාර්තාවන්හි දැක්වේ. ඉන් මතු ඔහුට පොලිස් නිලධාරින් පහර දුන් බැව් දැනගන්නට ඇත. මේ පහර දීම සිදුව තිබෙන්නේ පොර්ට් එලිසබෙත්හි පොලිස් ස්ථානයක සිදුවුණු ප්‍රශ්න කිරීමක් අතරතුරදීය. ඒ හැරුණුවිට ඔහු මාංචු ලා තිබුණු බවත් උළුවස්සක් වැනි යමක ගැට ගසා තබා තිබුණු බවත් දැක්වේ. ස්ටීව් බිකෝට සිදු වුණේ කුමක්ද යන්න හරියාකාරව ලෝකයට වාර්තා වුණේ නැත. ඔහු සැප්තැම්බර් 12වැනිදා ජීවිතක්ෂයට පත් විය. මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණේ මොළයට සිදු වුණු දරුණු තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවකි.
බෝකොගේ මරණය දකුණු අප්‍රිකාවට පමණක් නොව මුළුමහත් ලෝකයටම මහත් කම්පනයක් ඇති කළ සිදු වීමක් විය. එමෙන්ම සුදු ජාතික අතලොස්ස කළු ජාතිකයන් වන මහා ජාතිය මත ඇති කරන අසාධාරණය කෙතරම්ද යන්න අවබෝධ කරගන්නට මේ මරණයත් හොඳ සාක්ෂියක් වූයේය. එසේ වුවත් ස්ටීව් බිකෝ ඝාතනය කරන්නට මුල් වුණු කිසිවකුට එරෙහිව දඬුවමක් ලැබුණේ නැත. එතැන් පටන් දකුණු අප්‍රිකා කළු ජාතික ජනතාව නැවත වරක් තම අයිතීන් දිනා ගැනීමේ සටනට අවතීර්ණ වූහ. තමන්ගේ ගමනට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය සොයා දුන් අසහාය නායක ස්ටීව් බිකෝ ඔවුන්ට හුදු මතකයක් පමණක් වන්නට පටන් ගත්තේය. අද වනවිට ඒ මතකය පවා අංශු මාත්‍රයක්ව දකුණු අප්‍රිකා ජාතිකයන්ගේ මනසින් ඉවත් වෙමින් තිබේ.
මංජුලා විජයරත්න

Comments

Popular posts from this blog

ගීතයක අතීතය හා අර්ථය 1