මිනී මැරීම පාපයකි.
එය නොදන්න එකෙක් නැත.
නමුත් පාපයට බය නැති අයට
මෙය අදාළ නැත.
සංඝයා වහන්සේලා ඝාතනය
බෞද්ධයන් වශයෙන් අපහට සංවේගය
මෙන්ම වෛරයද ගෙන එන්නකි.
මිනී මරුවන්ට එය අදාල නැත.
අත් පා ගැට ගසා
බෙල්ලට ගලක් දමා නෙදර්ලන්ත ජාතික
භික්ෂුවක් ඝාතනය කොට ඇත.
සැබෑ බෞද්ධයන් ලෙස මෙයට කම්පා වන
අතර
සමහර අඳ බාල අනාථයන් මෙයට දේශපාලනයද ඈදා ගෙන ඇත.
අපගේ මහානායක, අනුනායක හිමිවරු තියා
රූපවාහිනීය නිතර දෙවෙලේ පෙනී ඉන්න
දේශපාලන ගැති හෝ ජනතා ගැති හෝ
ධර්ම ගැති මොන භික්ෂුවක්වත් මෙය
හෙළා දැක්කේ නැත.
එක්කෝ එහෙම කරනවා මම දැක්කේ නැත.
ලංකාවේ භික්ෂු සමාජය තුළ දරුණු නිකාය බේදයක් ඇත.
ලංකාවේ ප්රධාන නිකායන් තුනකි.
*සියම් නිකාය
කීර්ති ශ්රී රාජසිංහ රජු සහ වැලිවිට සරණංකර හිමියන්ගේ ආරාධනය පරිදි ලංකාවට වැඩම කළ තායි ජාතික උපාලි හිමියන් විසින් 18 වන සියවසේදී ආරම්භ කරන ලදී.
මෙහි මල්වතු අස්ගිරි ලෙස පාර්ශව දෙකක්
ඇති අතර උසස් කුලයේ අය මෙහි පැවිදි වෙන
අතර උග්ර ලෙස කුලය පිළිබඳ සැලකිලිමත් වන නිකායකි.
*අමරපුර නිකාය
1800 වර්ෂයේ ආරම්භ කර ඇත්තේ මියන්මාරයෙන් ලැබුණු ඉහළත්වයෙන් සලකන පැවිදි පෙලපතකින්ය.
*රමාඤ්ඤ නිකාය
අඹගහවත්ත සරණංකර හිමියන් විසින් 1864 දී ආරම්භ කර ඇත.
මීට අමතරව තව නිකායවල් ඇත.
ලංකාවේ භික්ෂු සමාජයට කුල භේදය අති උග්ර වුනු හැටි හා ඒ හරහා නිකාය
බෙදුනු හැටි මෙසේය.
1753 වෙද්දී නැවත පිහිටවුණු උපසම්පදාව 1800 වෙද්දීත් ගොවි කුලයෙන් පිටස්තර කිසිවෙකුටත් නොලැබුණේය.
*අමරපුර නිකාය බිහිවීම.
මාතර බෝවල ධම්මානන්ද හිමියන් කුලය නොසලකා පැවිදි කරගත් සලාගම කුලයට අයත් බලපිටියේ වැලිතර ඤාණවිමල හිමියන්ට ගුරුවරයා අයත් සියම් නිකායෙන් උපසම්පදාව නොලැබුනි.
ඒ වනවිට කුරුඳු කර්මාන්තයේ මහබද්දේරාල තනතුර දිගු කලක් දරා සිටියේ බලපිටියේ සහබන්දු – රාජපක්ෂ පවුල් නිසා ඔවුන්ගේ ධනවත් කම යොදවා තම කුලයට උපසම්පදාව ගෙන
ඒමට හැකිවිය.
මේ අනුව 1803 වෙද්දී අමරපුර නිකාය පිහිටුවා සියම් නිකායෙන් පිටස්තර උපසම්පදාවක් රට තුළ තහවුරු වුණේය.
පසුව මෙය කරාව දුරාව බඳු වංශවලටත් ලැබී මේ සියල්ලෝම එකම මහා අමරපුර නිකායේ ශාඛා නිකායන් බවට පත්වූහ.
*කෝට්ටේ ශ්රී කල්යාණි නිකාය
1856 දී පහතරට ගොවි කුලයේ භික්ෂූහු උඩරට ගොවිකුලයේ වෙනස්කම් ඉවසිය නොහැකි තැන කෝට්ටේ ශ්රී කල්යාණි නමින් සියම් නිකායේ වෙනම පහතරට නිකායක් පටන් ගත්හ.
උපසම්පදාව ගන්නට ඕනෑ වු විට කරත්ත පිටින් මල්වතත්ට පූජා භාණ්ඩ ගෙන යාමට සිදු වීමත් එසේ ගියවිට පහත රට භික්ෂූන්ට කෙරෙන අවමන් සහගත සැලකිල්ලත් මෙසේ වෙන් වීමට හේතුවක් විණි. පසුව මේ පහතරට ගොවි කුලයේ තවත් ප්රාදේශීය කුල පාර්ශ්ව ගණනාවක් තනා ගත්හ.
*රාමඤ්ඤ නිකාය බිහිවීම.
කුල භේදයෙන් තොරව ලංකාවේ සංඝයාට නිකායක් තනන්නට 1863 කල්පනා කළ මෑත යුගයේ සිටි එකම භික්ෂුව අඹගහවත්තේ සරණංකර හෙවත් ඉන්ද්රසහවර ඤාණසාමි නමින් ප්රකට රාමඤ්ඤ නිකායේ මූලාරම්භකයාණෝය.
නමුත් මෙම නිකාය පදු නිකාය නමින් සියම් නිකායෙන් ගැරහුම ලැබීය.
*සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ සහ
උඩරට අමරපුර නිකාය
උඩරට ගොවි කුලයට අයත් සබරගමුවේ භික්ෂූහු සබරගමු ගොවි කුලයට 1836 දී සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නමින් නිකායක් පිහිටුවා ගත්හ.
1844 වෙද්දී ගොවිකුල භික්ෂූහු උඩරට අමරපුර නිකාය නමින් තවත් නිකායක් පිහිටුවා ගත්හ.
මේ වනවිට ලංකාවේ භික්ෂු නිකායන් සියල්ලම පිහිටුවා තිබෙන්නේ කුල හා ප්රාදේශීය කුලවල බෙදීම් අනුවය.
සුනීත , සෝපාකලා සසුන්ගත උන සම්බුද්ධ ශාසනය ඇති ලංකාවේ තවමත් භික්ෂු සමාජය තුළ රොඩී කුලය හා කින්නර කුලය නියෝජන නොකෙරෙයි.
භික්ෂුවක් තවත් භික්ෂුවක් වෙනුවෙන් පෙනී
සිටීමට ද මෙම කුල හරුප බලපාන බව සැකය.
ලංකික භික්ෂූන්ටත් එසේ නම්
ලංකික නොවන භික්ෂුන් ගැන කවර කථාද?
මේ දවස්වල කුලල් කා ගැනීම යන්නේ
මහ මෙව්නා සහ උමන්දාව අතරය.
වර්තමාන ලාංකේය භික්‌ෂූන් නිකායබේදය ශාසනික සම්ප්රදායක්, උරුමයක් හා සංස්‌කෘතියක් ලෙස හඳුන්වාගෙන පවත්වාගෙන යයි.
නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව මෙසේය.
භික්‌ෂු ශාසනයේ සමගිය අගය කළ බුදුන් වහන්සේ ඒ සඳහා බොහෝ උපදෙස් ලබාදී තිබේ.
දීඝ නිකායේ මහාපරිනිබ්බාන සූත්රයේදී භික්‌ෂු සමාජයේ පිරිහීම වළකා දියුණුව ඇතිකර ගැන්මට අදාළ කරුණු හතක් වදාළ තැනද සංඝ සමගියට මුල් තැන ලබාදී ඇත.
1. මහණෙනි, යම්තාක් කල් භික්‌ෂූහු නිතර නිතර රැස්‌වන්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවක්‌ම මිස පිරිහීමක් නොවන්නේය.
2. මහණෙනි, යම්තාක් කල් භික්‌ෂූහු සමගිව රැස්‌වන්නාහුද, සමගිව නැගී සිටින්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවක් මිස පිරිහීමක් නොවන්නේය.
3. මහණෙනි, යම්තාක් භික්‌ෂූහු නොපැනවූ දේ නොපනවන්නාහුද, පැනවූ දේ නොසිඳින්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවකට මිස පිරිහීමක් නොවන්නේය.
4. මහණෙනි, යම්තාක් කල් භික්‌ෂූහු චිරරාත්රඥවූ, පැවිදිව බොහෝකල් ගිය සඟ පියවූ සඟනායක තෙරවරුන්ට සත්කාර ගරු බුහුමන් කරන්නාහුද පුදන්නාහුද ඔවුන්ගේ වචනය පිළිගන්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවක්‌ම මිස පිරිහීමක් නොවන්නේය.
5. මහණෙනි, යම්තාක් කල් නැවත උපත ඇති කරන උපන් තණ්‌හාවේ වසඟයට භික්‌ෂූහු නොගන්නාහුද ඒතාක් කල් භික්‌ෂූන්ගේ පිරිහීමක් නොවන්නේය.
6. මහණෙනි, යම්තාක් කල් භික්‌ෂූහු ආරණ්ය සේනාසනයන්හි අපේක්‌ෂා ඇතිව වසන්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවක්‌ම මිස පිරිහීමක් ඇති නොවන්නේය.
7. මහණෙනි, යම්තාක් කල් භික්‌ෂූහු නොපැමිණියාවූ ප්රියශීලී සබ්රහ්මචාරීහු පැමිණේවා යෑයිද, පැමිණෙනවා යයිද, පැමිණියාවූ සබ්රහ්මචාරීහු පහසුවෙන් වසත්වා යයිද තමන්ම සිහියට ගෙන සිහිය පිහිටුවාගන්නාහුද ඒ තාක් කල් භික්‌ෂූන්ගේ දියුණුවක්‌ම මිස පිරිහීමක් නොවන්නේය.
අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ එන පරිදි බුද්ධ භාෂිතයේ සඳහන් වන්නේ මහණෙනි ලෝකයෙහි එක් කරුණක් බොහෝ ජනයාට හිතසුව පිණිස වේ. දෙවි මිනිසුන්ට වැඩ පිණිසද වේ. එනම් සංඝයාගේ සමගියයි.
ධම්මපදයේද මේ පිළිබඳ ගාථා එමට ඇත.
ඉන් එකක් නම්
සූත්ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපදයේ බුද්ධ වර්ගයේ 08 වැනි ගාථාවයි.
සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛෝ
බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.
එසේම සංඝයා බේදකිරීම කිසිසේත් ගැලවිය නොහැකි පංචානන්තරීය කර්මයන් අතරින් එකක් ලෙසද දේශනා කර ඇත.
එබැවින් භික්ෂුවක් සිටින්නේ
විප්ලව කරන්නවත්, මහ පාර මැද
බැටන්පොලු කඳුළු ගෑස් කන්නවත්,
තනතුරු අරං පඩි ගන්නවත්,
දේශාපාලකයන්ගේ ගුණවයන්නවත්
නොව
ජනතාව ගේ සිත් නිවීමට මිස සිත් කැළඹවීමට නොවේ.
අන්තිමට කීමට ඇත්තේ
තරහ අවසර කියා පමණි.

Comments
Post a Comment